විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය භාවිතා කිරීමට දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත්කළ කොන්දේසි 10 මෙන්න.

දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවේ දී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවැසීය. එම යෝජනා ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී අග්‍රමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමැති වූ අවස්ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රිවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත් බවද සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රිවරයා පැවැසීය.

කෙසේ නමුත් යෝජනා කීපයක් ප්‍රතික්ෂේප වීමෙන් පසුව අවසානයේදී යෝජනා 10කට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති දේ මෙසේය.
1.උතුර නැඟෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසඳුමක් ලබාදීම.
2.මීළඟ මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම.
3.යුද හමුදාව විසින් පරිහරණය කරනු ලබන උතුර නැඟෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම.
4.දේශපාලන සිරකරුවන් සියලු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම.
5.යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටුකිරීම.
6.උතුර නැඟෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම.
7.එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම.
8.උතුර නැඟෙනහිර පළාත්වල රැකියා ලබාදීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස්වලට උතුර හා නැඟෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම.
9.උතුර නැඟෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයන් පත් කිරීම හා උතුර නැඟෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරු කිරීම.
10.එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.

User 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *